පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය තුළ පොළොන්නරුව-මඩකලපුව මාර්ගයේ කිලෝමීටර් 08ක් දුරින් වැලිකන්දෙන් වමට හැරී වැලිකන්ද කන්දකඩුව මාර්ගයේ කිලෝමීටර් 3 ක් ඉදිරියට ගමන් කරන විට වැලිකන්ද ගොවිපල හමුවේ. වැලිකන්ද ගොවිපල, 1976 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එවකට සැලසුම් කළ පරිදි ගව ඝාතකාගාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ගවයින් රඳවන ගොවිපලක් පිහිටුවීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත පැවරිණි. එහි ජලය සැපයිය හැකි මෙන්ම ජලය සැපයිය නොහැකි ලෙස ඉඩම් කොටස් දෙකකින් සමන්විත විය. කඩිනම් මහවැලි ව්‍යාපෘතියත් සමඟ වාරි ජලය යටතේ ස්ථාපිත කරන ලද තෘණ බිම් හෙක්ටයාර 324 ක් ගොවින් පදිංචි කිරීම සදහා මහවැලි අධිකාරිය යටතට පවරා දෙන ලදී. එහෙයින්, ගොවිපල තුල ඉතිරි වුයේ උස්බිම් සමඟ එහි ඉදිකරන ලද වෙනත් ගොඩනැගිලි පමණි. මෙය තෘණබිම් වශයෙන් හා සත්ව ආහාර වශයෙන් ගත් කල අයහපත් ආකාරයෙන් සිදු වූ පසුබෑමක් විය.
වැලිකන්ද ප්‍රදේශයේ පස සාමාන්‍ය වර්ගීකරණයට අනුව ඇලුවියල් නැමැති පස් වර්ගයට අයත් වේ. ඇලුවියල් පසෙහි සාරවත් බවෙහි සැලකිය යුතු වෙනසක් ඇත. මෙම පස් සෑදී ඇත්තේ මෑත කාලීනව ජලයෙන් තැන්පත් වූ රොන් මඩ මත වන අතර එහි මතුපිට යම් කාබනික ද්‍රව්‍ය සමුච්චය වීම හැර වෙනත් පාංශු පැතිකඩක් සංවර්ධනයවී නොමැත. ඇලුවියල් පසෙහි වයනය, ගැඹුර, ජල වහනය සහ වර්ණවල සැලකිය යුතු වෙනසක් දක්නට ලැබේ. පාංශු ලක්ෂණ අතිශය පුළුල් පරාසයක පෙන්නුම් කරන නිසා, මෙම පස සම්බන්ධයෙන් ආදර්ශ පැතිකඩක් විස්තර කළ නොහැක. නමුත් මෙම පසෙහි වී වගාව ඉතා සාර්ථකව වගා කළ හැකිය.